1 ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.
2 තවද ඒ කාලයේදී දේවරූපවල නාමවල් තවත් සිහි නොවෙන හැටියට ඒවා දේශයෙන් සිඳදමන්නෙමි. මම අනාගතවක්තෘවරුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
3 නුමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කීවොත් ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවු අයම: නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් බොරුවූ දේ කථාකරන බැවින් නුඹට ජීවත්වෙන්ට නොලැබේයයි ඔහුට කියා, ඔහු අනාගතවාක්‍ය කියන විට ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවු අයම ඔහුට ඇන මරනවා ඇත.
4 ඒ කාලයේදී අනාගතවක්තෘවරුන් අනාගතවාක්‍ය කියන විට එකිනෙකා තම තමාගේ දර්ශනය ගැන ලජ්ජාවෙනවා ඇත; රවටන පිණිස ඔවුන් රෝමමය සළුවක් අඳින්නෙක් නැත.
5 එකිකොද: මම අනාගතවක්තෘ කෙනෙක් නොව ගොවියෙක්ය; මක්නිසාද මාගේ බාල වයසේ පටන් දාසකමෙහි සිටියෙමියි කියන්නේය.
6 එවිට: නුඹේ අත්වල තිබෙන ඔය තුවාල මොනවාදැයි කෙනෙක් ඔහුගෙන් අසන්නේය. මාගේ ප්‍රේමවන්තයන්ගේ ගෙදරදී මා ලැබූ තුවාලයයි ඔහු කියන්නේය.
7 එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.
8 තවද මුළු දේශයෙහි තුනෙන් දෙකොටසක් සිඳදමනු ලැබ මැරෙනවා ඇත; නුමුත් තුන්වෙනි කොටස එහි ඉතිරිවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9 තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.