1 ස්වාමිනි, ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක.
2 ඔබගේ සෙනඟගේ අයුතුකම කමා කළසේක, ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක.
3 ඔබගේ මුළු උදහස පහකරදැමූසේක. ස්වකීය තද කෝපයෙන් හැරුණුසේක.
4 අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, අප හැරෙවුව මැනව, අප කෙරෙහි වූ ඔබගේ කෝපය නැවැත්වුව මැනව.
5 ඔබ අප සමඟ සදාකල්ම උදහස් වනසේක්ද? සියලු පරම්පරාවලට ඔබගේ උදහස පවත්වනසේක්ද?
6 ඔබගේ සෙනඟ ඔබ කෙරෙහි ප්‍රීතිමත් වන පිණිස අප නැවත ජීවත් නොකරනසේක්ද?
7 ස්වාමිනි, ඔබගේ කරුණාව අපට දැක්වුව මැනව, ඔබගේ ගැළවීම අපට දුන මැනව.
8 දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා.
9 තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය.
10 කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය.
11 සැබෑකම පොළොවෙන් හටගනී; ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය.
12 එසේය, ස්වාමීන්වහන්සේ යහපත් දේ දෙනසේක; අපේ දේශයද එහි ඵල දෙන්නේය.
13 ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පා සලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය.